
“මම පොඩිකාලේ ඉඳලා ඩයිනසෝර් පිස්සෙක් හින්දා, මට මතක් වෙන්නේ ද ලොස්ට් වර්ල්ඩ් කතාව. ඔය ඩයිනසෝර් පිස්සුව හොඳට ම වැඩි කෙරුව, මං කැමති ම ලේඛකයා, මයිකල් ක්‍රයිටන්, එයාගේ දෙවෙනි ජුරාසික් පොත රචනා කරද්දි ඒකටත් ද ලොස්ට් වර්ල්ඩ් කියන නම දැම්මේ, කොනන් ඩොයිල්ගේ ඒ අපූරු පොතේ ආභාෂය හින්දා කියලා කතාවක් තියනවා. හැබැයි එතුමාගේ හපන්කම් එතනින් නම් ඉවර නෑ…”
ආතර් කොනන් ඩොයිල්; ඒ නම ඇහුණගමන් ඔයාලාට මතක්වෙන කතාව මොකක් ද?
සැකයක් නැතුව ම ෂර්ලොක් හෝම්ස් කතාමාලාව වෙන්න ඇති.
මම පොඩිකාලේ ඉඳලා ඩයිනසෝර් පිස්සෙක් හින්දා, මට මතක් වෙන්නේ ද ලොස්ට් වර්ල්ඩ් කතාව. ඔය ඩයිනසෝර් පිස්සුව හොඳට ම වැඩි කෙරුව, මං කැමති ම ලේඛකයා, මයිකල් ක්‍රයිටන්, එයාගේ දෙවෙනි ජුරාසික් පොත රචනා කරද්දි ඒකටත් ද ලොස්ට් වර්ල්ඩ් කියන නම දැම්මේ, කොනන් ඩොයිල්ගේ ඒ අපූරු පොතේ ආභාෂය හින්දා කියලා කතාවක් තියනවා.
හැබැයි එතුමාගේ හපන්කම් එතනින් නම් ඉවර නෑ…
.
අහස්ගෙන් රහස් (කියවන පොතක නොකියවෙන කතාවක්) #22 අරුණ අහස් රත්නායක
.
මේ කතාව සෑහෙන කාලයක් තිස්සේ කියවන්න ආසාවෙන් හිටිය එකක්.
අවුරුදු ගාණකට කලින්, ඉංග්‍රීසි පිටපත හොයාගෙන කියවන්න ගත්තත්, ඒ පැරණි බස්වහර හරියකට තේරුම්ගන්න බැරි වුණ හින්දා අතෑරලා දාන්න වුණා.
ඉතින් ඒ පොත, ප්‍රවීණ පරිවර්තකතුමෙක් අතින් අසංක්ෂිප්තව සිංහලයට නැඟෙනවා දැක්කහම, ඒ ගැන සතුටු වුණු අය අතරේ, මමත් එක්කෙනෙක්…
.
ළමා අවධිය ආශ්‍රමයක සන්සුන් ජීවිතයක් ගත කරලා, තරුණ වයස ආවහම පොඩ්ඩක් එළිපහළියට බැහැලා ලෝකය දකින්න යන තරුණයක් එක්ක තමයි කතාව දිවෙන්නේ.
වීරවික්‍රමාන්විතයන් හොයාගෙන චාරිකාවක් යන්න හදන අපූරු සේනාංකයකට මැදිවෙන්න එයාටත් සිද්ධ වෙනවා.
ඒ අතරේ, එයාට මුණගැහෙන සුන්දර තරුණියක්…
හරි, හරි, කතාව කීවා ඇති.
.
මං කලින් කීවා වගේ, මේ පොත ලියවෙන්නේ, පැරණි ගාම්භීර බස්වහරකින්. ඉතින් ඒ පොතේ පරිවර්තනයත්, ඒ ගාම්භීරබව සුරැකෙන විදියටයි කෙරිලා තියෙන්නේ.
හැබැයි, අපිට නුපුරුදු වචනවල තේරුම, හරි ම පැහැදිලිව පාදසටහන්වලින් කියලා දීලා තියනවා.
ඒ විතරක් නෙවෙයි, මේ කතාවට පසුබිම්වෙන ස්ථාන, සමහර ඇත්ත චරිත, ඇඳුම්පැළඳුම්, චාරිත්‍රවාරිත්‍ර වගේ ගොඩක් දේවල් ගැන වැඩිදුර පැහැදිලිකිරීමක්, පොත අවසානයේ පෙන්නලාදීලා තියනවා.
.
ඉතින් මට හිතෙන විදියට, තවත් අපූරු කතාවක අපූරු පරිවර්තනයක්, අංගසම්පූර්ණ අත්දැකීමක් විදියට දැනෙන පොතක් තමයි, මේ හෙළැණිය කියන්නේ…



